Pages

Saturday, November 20, 2010

දැනට ආදරයට විරුද්ධයි

දිනේෂ් ප්‍රියසාද්ගේ දියණිය දිනේෂි ප්‍රියසාද්

ඇය අද ටෙලිනාට්‍ය ක්‌ෂේත්‍රයේ බොහෝ දෙනා කතා කරන ජනප්‍රිය යෞවනියක්‌. පළමුව නිවේදිකාවක්‌ ලෙසත්, ඉන් පසුව ගීත කිහිපයක රූප රචනාවලිනුත් රූපවාහිනී තිරයේ පෙනී සිටි ඇය, රංගන ශිsල්පිණියක්‌ ලෙසට ප්‍රේක්‌ෂකයා දැන හැඳින ගත්තේ වස්‌සාන සිහිනය ටෙලිනාට්‍යයේ චාපා ලෙසිනි. එසේ පැමිණි ඇය අද පෙනී සිටින්නේ හිතට වහල් වීමි සහ සඳගිරි පව්ව ටෙලිනාට්‍යය තුළයි. මේ කතා බහ දිනක්‌ෂී ප්‍රියසාද් නම් වූ ඒ ලස්‌සන ඇස්‌ ඇති යෞවනිය සමගයි.

දිනක්ෂි මොනවද මේ දවස්‌වල අලුත් තොරතුරු?

මගෙ අලුත් නාට්‍යය හිතට වහල් වීමිට හොඳ ප්‍රතිචාර ලැබෙන නිසා සතුටින් ඉන්නවා. අවුරුද්ද අවසානයේ නිසා උසස්‌ අධ්‍යාපන කටයුතුවල විභාගත් එක්‌ක අකමැත්තෙන් වුණත් ටිකක්‌ කාර්ය බහුලයි.

අකමැති දේකට යොමුවෙන්න හේතුව?

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදන ඩිප්ලෝමාව හදාරනවා. ඊට අමතරව විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්‌ෂණ උපාධිය හදාරනවා. ඒකේ දෙවැනි අවුරුද්දේ විභාග මේ මාසේ පටන් ගන්න නිසා ටිකක්‌ වැඩ වැඩියි.

විවිධ විෂයන් හදාරන්නේ දිගටම රංගනයේ නියෑළෙන්

අදහසක්‌ නැතුවද?

රංගනය කියන්නේ මම කිසිදාක බලාපොරොත්තු නොවුනු දෙයක්‌. මොකද ටෙලිනාට්‍යය බලන්න ආසවුණාට රඟපාන්න ලැඡ්ජයි. පුංචි කාලේ ඉඳලම අධ්‍යාපන කටයුතු තමයි හොඳින් කළේ. ඒ නිසාම ශිෂ්‍යත්වෙන් පාසලේ වැඩිම ලකුණුත් ඉන් පසුව සාමාන්‍ය පෙළ විභාගෙන් ඒ සාමාර්ථ දහයක්‌ අරගෙන පාසලේ හොඳම ප්‍රතිඵල ලැබුවෙත් මමයි. පුංචි පැංචි වැඩසටහනට නිවේදිකාවක්‌ හැටියට එකතුවුණාට පස්‌සේ තමයි රඟපාන්න අවස්‌ථාව ලැබුණේ. ඒ නිසා දැන් රඟපාන්න ලැබුණට අනාගතේ කොහොම වෙයි ද කියන්න බෑනේ. මොනදේටත් හොඳ අධ්‍යාපනයක්‌ ලබා තිබීම වැදගත් කියලා හිතනවා.

ඔබේ පියා ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්‌. ඒ නිසාද ඔබට මේ ක්‍ෂෙත්‍රයට එන්න අවස්‌ථාව ලැබුණේ?

කොහෙත්ම නැහැ.

එහෙනම්?

තාත්තා අපි වෙනුවෙන් කිසිදිනක කිසිමදේකට පෙනී හිටියේ නැහැ. පොඩි කාලෙදි නම් තාත්තගේ චිත්‍රපටවල පොඩි පොඩි චරිත කරලා තියෙනවා. පුංචි පැංචි වැඩසටහනට තෝරගත්තෙත් සම්මුඛ පරීක්‌ෂණයකින් පස්‌සේ. වස්‌සාන සිහිනයේ චාපාට තෝරගත්තේ ඒ වැඩසටහන ජානක සිරිවර්ධන මහත්මා දැකලා අපේ ගෙදරටම ඇවිල්ලා. ඒත් මම ටිකක්‌ කල් අරන් කල්පනා කරලා තමයි කැමති වුණේ.

ඇත්තද පියාගේ දැන හැඳුනුම්කම් මත ලැබෙන නිර්මාණ ඔබ ප්‍රතික්‌ෂේප කරනවා කියන්නේ?

එහෙම දෙයක්‌ නැහැ. මාව කෙනෙක්‌ චරිතයකට තෝරගන්නේ ඒකට මාව ගැලපෙන නිසානේ. කොහොමටත් මම කැමති වුණත් අම්මයි තාත්තයි කැමති නම් තමයි මම රඟපාන්නේ.

නමුත් ඔබට මෙතරම් ජනප්‍රියත්වයක්‌ ලැබෙන්න ප්‍රධාන කරුණක්‌ ඔබේ පියා කිව්වොත්? ඒක පිළිගන්නවද?

සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. ඒත් තාත්තා කියන්නේ අපි තුන්දෙනා නිසා තමයි එයා ජනප්‍රිය කියලා.

සහෝදරියක්‌ හැටියට ඔබේ නංගිලා දෙදෙනාගේ දíතාවන් දකින විදිහ?

ඒ දෙන්නා මට වැඩිය දක්‌ෂයි. දෙන්නම වෙළෙඳ දැන්වීම් වලට පොඩිකාලේ ඉඳලම පෙනී හිටියා. ලොකු නංගි (ශේෂාද්‍රී) චිත්‍රපටි තුනක්‌ රඟපෑවා. පොඩි නංගි (ෂනුද්ද්‍රී) නම් ගොඩක්‌ම කලාවට බරයි. තාම පාසල් යන නිසා ටිකක්‌ සීමා කරලා තියෙනවා. හැබැයි දෙන්නම දඟයි. දෙන්නම කලා අංශයෙන් ඉදිරියට යනවට මම කැමතියි.

ඒ කියන්නේ ඔබ දක්ෂ නැහැ කියලද?

ටිකක්‌ දක්ෂ ඇති. ඒ ගැන හරියටම දන්නේ ප්‍රේක්ෂකයින් තමයි.

හිතට වහල් වීමි ටෙලිනාට්‍යයේ නිම්මිව ඔබ දකින්නේ කොහොමද?

නිම්මි කියන්නේ එයාගේ අක්‌කට තියෙන ආදරේ නිසා ඇයව අහිමි වෙයි කියලා බයට අක්‌කව යටත් කරගෙන ඉන්න චරිතයක්‌. නිම්මි අක්‌කව ගොඩක්‌ විශ්වාස කරනවා. අන්තිමට ඇයට අක්‌කා නිසා කකුලක්‌ නැති වෙනවා. මොහොන් නියාස්‌ මහත්මාට ස්‌තූතිවන්ත වෙනවා ඒ වගේ චරිතයකට මාව තෝරගත්තට. මෙගා ටෙලිනාට්‍යය රටාවෙන් ඔබ්බට ගිය ගොඩක්‌ කැපකිරීම් කරන්න වෙන චරිතයක්‌.

නිම්මි වගේ දිනක්ෂිත් සහෝදරියන් යටත් කරගෙනද ඉන්නේ?

අනේ නැහැ. නංගිලා දෙන්නා තමයි මාව යටත් කරගෙන ඉන්නේ. නංගිලා දෙන්නට මම ගොඩක්‌ ආදරෙයි. එකවෙලාවකට තුන්දෙනාම රණ්‌ඩුවෙනවා. ටිකකින් යාළුවෙනවා.

අම්මගෙනුයි, තාත්තගෙනුයි මොනවගේ මග පෙන්වීමක්‌ ද ඔබේ ගමනට ලැබෙන්නේ?

දෙන්නම කවදාවත්ම කිසිම දේකට බලපෑමක්‌ කරලා නැහැ. අම්මා තමයි මගේ සෙවණැල්ල.

නිම්මි වගේ දිනක්ෂිත් තාම ආදරයක්‌ ගැන හිතුවේ නැද්ද?

දැනට ආදරයට විරුද්ධ කෙනෙක්‌.

ඇයි ඒ?

අධ්‍යාපංන කටයුතු අවසන් වුණාට පස්‌සේ ඒ ගැන හිතනවා. අම්මලා නම් නිදහස දීලා තියෙනවා හොඳ කෙනෙක්‌ තෝරගන්න. හොඳ අධ්‍යාපන මට්‌ටමක්‌ තියෙන කෙනෙක්‌ තමයි මම කවදාහරි බලාපොරොත්තු වෙන්නේ.

අද වන විට නිවේදන කටයුතු අත්හැරලද?

නැහැ. ස්‌වර්ණවාහිනියේ බොලිවුඩ් මැජික්‌ වැඩසටහනයි, චැනල් සී නාලිකාවේ සී වයිබ්ස්‌ වැඩසටහන දෙවැනි නංගිත් එක්‌කයි නිවේදන කටයුතු කරනවා.

Tuesday, October 5, 2010

මෙන්ඩිස්ගේ දියණිය නිපුනි මෙන්ඩිස් ගේ පළමු රංගනය

රකුන්සැරය

සංජය නිර්මාල් ගේ අධ්‍යක්ෂණයක්
ඒ 1815 වර්ෂයයි. හිතුවක්කාරකමත්, දඩබ්බරකමත් උපන් වත්කමක් ලෙස රැගෙන ආ තරුණයකු වන රවුරා රකුන්සැරය නැමැති සාම්ප්‍රදායික දැනුම, බලය නිධන්ගත වූ පුස්තකය සොරකම් කරයි.
රකුන්සැරය යොදා ගෙන එහි බලයෙන් මුලු විශ්වයම පාලනය කිරීම ඔහුගේ අරමුණ වෙයි.
ඔහුගේ මේ අකටයුතුකම් හෙළා දකින අය අතර පෙරමුණ ගන්නා එක් අයකි. ඒ මුණමුර නැමැති තවුසෙකි. ඔහු සිය මායා බලය උපයෝගී කර ගනිමින් කාල යන්ත්‍රයක උදව්වෙන් අනාගතයෙන් ළමයින් දෙදෙනකු කැඳවා රකුන්සැරය සොයන්න යවයි.
මේ ළමුන් දෙදෙනා ලංකා ඉතිහාසයේ ආරම්භයේ සිට මේ දක්වා සක්මන් කරමින් රකුන්සැරය සොයයි. ඔවුනට කුවේණි හමු වෙයි. විජය රජු, පණ්ඩුකාභය කුමරු, වලගම්බා රජු හමු වෙයි.
රවුරා, මුණමුර, කුවේණි, විජය මේ දිනවල ගම්පහ පිළිකුත්තුව අවට ප්‍රදේශයන්හී සැරිසරයි.
මේ පිරිස අධ්‍යක්ෂණය කරනුයේ සංජය නිර්මාල්ය. මේ ටෙලි නිමැවුමේ නම ද රකුන්සැරයම වන්නේය. එන්න අපි මොහොතක් නවතිමු රකුන්සැරය දර්ශන තලයේ.
සුන්දරත්වයෙන් අගතැම්පත් පිළිකුත්තුව අවට ප්‍රදේශයේ ඉතිහාසයේ එන ඉදි කිරීම් රැසකි. එක තැනක කුවේණිගේ මාලිගාවයි. ඇය කපු කටිමින් සිටින්නීය. දුටු කොයි කාගෙත් සිත අතීතයට රැගෙන යන්නේ නිරායාසයෙනි. ඒ ඇහැලියගොඩ සෝමතිලකයන්ගේ නිමැවුම්ය. ඔහුගේ කලා අධ්‍යක්ෂණයේ ප්‍රතිභාවෙන් සැබවින්ම යළි ලාංකේය ඉතිහාසය ගොඩ නගා ඇති අයුරු අනර්ඝය.
රකුන්සැරයේ කුවේණිය ගේ සැබෑ නම නිපුනි මෙන්ඩිස් වේ. ජනප්‍රිය නළු නිළි යුවළක් වන ශ්‍රියන්ත මෙන්ඩිස්ගේත් කුසුම් රේණුගේත් ආදරණීය දියණිය වන ඇගේ පළමු රංගනය සිදු වන්නේ රකුන්සැරය හරහා වේ.
මෙදින රූගත කිරීම් සිදු වෙමින් පැවැතියේ යක්ෂ ගෝත්‍ර කාලයට ළමුන් දෙදෙනා පැමිණි සිටි දර්ශනයකි. නවක ළමා නළු දෙවුනක පෝරගේ සමඟ උත්පලා මධුශානි රකුන්සැරය සොයා යාමේ චාරිකාව ආරම්භ කිරීමට විධානය ලැබෙන තෙක් සිටියේය. උත්පලයි, දෙවුනකයි මෙහෙම එනවා. එතකොටම ඔයා මේ පර්වතය උඩ ඉඳලා පැනලා උත්පලාව අරගෙන ඈතට දුවන්න ඕනෑ.
සංජය යක්ෂ ගෝත්‍රික තරුණයකුට රඟන තරමක් මහත නවක රංගන ශිල්පියකු වන ඩිලාන්ට උපදෙස් දුන්නේය.
නිෂ්පාදක කණ්ඩායම ඉමහත් වෙහෙසක් දරමින් ඩිලාන්ව පර්වතයට නැංගුවේය.
ඇක්ෂන්.
ඩිලාන් , උත්පලා ඉදිරියට පැන්නේ ඇගේ කකුලත් පාගමිනි.
සිදු වූ මේ හදිසි තත්ත්වය නිසා රූගත කිරීම නතර කළේය.
හොඳ වෙලාවට යන්තම් කකුලේ ඇඟිල්ලක් විතරයි පෑගුනේ. නැතිනම් ඩිලාන් අයියා පැනපු විදිහට කකුල උඩට වැටුනා නම් කකුලක් ගේන්න වෙනවා.
ඒ උත්පලාගේ නෝක්කාඩු හඬය.
කොහොමද ධනංජය, රවුරා හරිම දඩබ්බරයි නේද?
ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. රවුරා වෙනුවෙන් ම අපූරු ඇඳුම් කිහිපයක් නිර්මාණය කළා. ලොකු ලෝගුවක්, අමුතු සපත්තු දෙකක් ඊට ඇතුළත්. ඇඳුම් ඇඳ ගත්තට පස්සේ මටම මාව අඳුන ගන්න බැරිව ගියා.
රකුන්සැරයෙහි මුණමුර තවුසා තවත් වැදගත් චරිතයක්. මුණමුර වී හිඳින්නේ ලක්ෂ්මන් මෙන්ඩිස්.
රකුන්සැරය පිළිබඳ ඔහු අපූරු තොරතුරු කිහිපයක් හෙළි කළේය.
රකුන්සැරය රූගත කිරීම් කෙරෙන කාලයම අපට අමතක නොවන අත්දැකීමක්. මහාවංශයේ එන සියලුම රජවරු රකුන්සැරය ඔස්සේ ඔබ හමුවට පැමිණෙනවා. අප රටේ ඉතිහාසය විෂයය අධ්‍යාපනයෙන් ඉවත් වෙලා තියෙන යුගයක මෙවැනි ටෙලි නාට්‍යක වටිනාකම වැඩියි ඉතිහාසය හදාරන අයට. මුණමුර තාපසයා තමයි අර ළමයි දෙන්නව යවලා රකුන්සැරය හොයන්න උත්සාහ කරන්නේ. මමත් හරිම ආසාවෙන් ඉන්නේ රකුන්සැරය විකාශය වන තුරු.
මෙහි සහය අධ්‍යක්ෂ නිශාන්ත රණසිංහ රකුන්සැරය රූගත කෙරෙන අතරතුරදී සිදු වූ අති භායනක සිදුවීමක් මෙසේ විස්තර කළේය.
දෙවුනක පෝරගේ අඩි පණහක පමණ උඩකින් වැටෙන දර්ශනයක් රූගත කරන්නට අපි සැලසුම් කරගෙන හිටියා. නමුත් නිෂ්පාදක කණ්ඩායමේ සියලු දෙනාගේම සිතේ සැකයක් තිබුණා අපි මේකට දෙවුනකව යොදා ගන්නව ද නැතිනම් වෙනත් අදේශක අයකු යොදා ගන්නව ද කියලා.
අපි හැමෝවම විස්මයට පත් කරමින් දෙවුනක කැමැති වුණානේ ඉහළින් පනින්න. අපි ලණු භාවිතා කරමින් හරිම තාත්ත්විකව එම දර්ශනය රූගත කළා.
රකුන්සැරය වෙනුවෙන් අයිරාංගනී සේරසිංහ, නිහාල් ප්‍රනාන්දු, අනූෂා දමයන්ති, වසන්ත කොටුවැල්ල, රමණී සිරිවර්ධන, නිමන්ති පෝරගේ, රන්දික විමලසූරිය රංගන වගකීම ඉටු කරති.
මෙහි සටන් අධ්‍යක්ෂණය අජන්ත පෙරේරාගෙනි. අංගම් පොර කලාවේ එක් අංගයක් වන රක්ෂස සටන් කලා ප්‍රබේධය මේ සඳහා යොදා ගත් බව අජන්තා වැඩිදුරටත් අප සමඟ ප්‍රකාශ කළේය. කැමරාව ප්‍රභාත් රෝෂන් සමඟ විශ්වජිත් කරුණාරත්නගෙනි. නයනා එස්. ගමගේ විධායක නිෂ්පාදකවරිය වේ. මෙවන් හරවත් ටෙලි නිමැවුමක සංකල්පය ආචාර්ය දමින්ද පෝරගේගේය. තිර පිටපත රැවන් හරිශ්චන්ද්‍ර ගෙනි . හැරල්ඩ් කරුණාතිලක නිෂ්පාදන කළමනාකරුය. රකුන්සැරය ද අයි ගෲප් ආයතනයේ ් නිෂ්පාදනයකි.

Friday, October 1, 2010

නදීෂා ගේ බලු පැටියා

නදීෂා ගේ බලු පැටියාගේ නම බෂාර්

අලුතෙන්ම රඟපාන්නේ භූතයෙක් හැටියට

ඇය රුවැත්තියක්. සිහින් සිරුර, දීප්තිමත් දෑස මෙන්ම ඕනෑවට එපාවට පීරා ගත් කොණ්ඩය වුවද ඇගේ රුවට ගෙන දෙන්නේ සොඳුරු බවක්. ඒ හැමටම වඩා ඈ වෙතින් දිස්වන්නේ කෙළිලොල් දඟකාර බවක්.
ඈ එකිනෙකා පරයමින් මුදල් සෙවීමත් ජනපි‍්‍රය චරිතයක් වීමේ සිහිනය සැබෑකර ගැනීමත් තම ජීවිතයේ ඒකායන අරමුණ කරගත් තරුණියක්. ඒ අරමුණු ජය ගැනීම උදෙසා මිස තම ජීවිතයේ වටිනාකම් ගැන නොසිතන ඇය නූතන තරුණ පරපුරේ එක් පැතිකඩක් අප දෑස් අභිමුවට ගෙන එයි.
’කැතී’ යැයි කියූ පමණින් බොහෝ දෙනෙක් ඇය හොඳින් හඳුනයි. එපමණට ම ඇය මේ වන විටත් තම නිසග හැකියාවෙන් ප්‍රේක්ෂක අවධානය තමා වෙත රඳවා ගැනීමට සමත් වී සිටී. ‘අමන්දා’ හි දඟකාර, කටකාර කැතී ට පණ පොවන ඇය එතරම් දන්නා හඳුනන කෙනෙක් නොවන නිසාම බොහෝ දෙනෙක් ඇගේ වතගොත විමසනවා. ඒ නිසාමයි අප කැතී සමඟින් කතා බහකට යොමු වුණේ.
ඉස්සරවෙලාම කියන්න කැතී ඔයා කවුද? ඔයාගෙ නම, ගම, පවුලේ විස්තර ගැන...
මගේ නම නදීෂා යාපාගේ. තාත්තා යාපාගේ පියතිස්ස. අම්මා රංජනී වෙල්ගම. මට අයියා කෙනෙක් ඉන්නවා. ඔහු ලෙබනන්වල හොටෙල් මැනේජ්මන්ට් කරනවා. අපි පදිංචිවෙලා ඉන්නෙ කලගෙඩිහේනේ. අම්මයි තාත්තයි අවුරුදු තිහක් පමණ හිටියෙ ලෙබනන්වල. ඉතින් මම ඉපදුණෙත් එහේදි. අධ්‍යාපන කටයුතු කළෙත් ලෙබනන්වලමයි. මට අවුරුදු 15 ක් විතර වෙනකොට අපි ලංකාවට ආවා.
ආ.... තව.. මට ඉන්නවා බලු පැටියෙක්. එයාගෙ නම බෂාර්. මම එයාට කියන්නෙ මල්ලි කියලා.
ඇය වේගවත්ව කතා කරගෙන යනවා. දෑත විහිදමින් හරි අපූරුවට කතා කරන ඇයගෙ දඟකාර බවත් සමගින් ඇති අවිහිංසක බවට මේ කතා ලතාවෙන් නම් බාධාවක් නැහැ.
ඔයා ඉපදිලා හැදුණෙ වැඩුණෙ ලෙබනන්වල උනාට සිංහල හොඳට කතා කරන්න පුළුවන්නේ....
ඔව්, මට සිංහල කතා කරන්න පුළුවන්. එහේදි අම්මයි තාත්තයි අපි එක්ක කතා කළේ සිංහලෙන්. ඒ දෙන්නා හැමදාම පැයක පමණ කාලයක් ඒ වෙනුවෙන් කැප කිරීමේ ප්‍රතිඵලය තමයි මේ...
නදීෂා කොහොමද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ආවෙ...
මම ගීත සඳහා රංගනයෙන් දායක වුණා. ඒ වගේම ඩයලොග්, කැල්ටෙක්ස්, ගුඩ් ලුක් වැනි වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියා. 2010 වසරේ පී‍්‍රමා කොත්තු මී කැලැන්ඩරයට නිරූපිකාවක් ලෙසින් දායක වෙන්නත් පුළුවන්කම ලැබුණා.
ඉන්පස්සෙ ලක්මිණී සහ ලක්රුවන් කියන මගෙ යාලුවො දෙන්නා තමයි අමන්දා ටෙලි නාට්‍යයේ ඉන්ටර්වීව් එකට යන්න මාව පෙළඹුවෙ. එහිදී ලිලන්ත කුමාරසිරි මහතාත්, සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියත් මාව කැතී ගෙ චරිතය සඳහා තෝරා ගත්තා. මේ චරිතයට මාව තෝරා ගැනීම සම්බන්ධයෙන් මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.
ඔයා ලංකාවට එද්දී මේ රටට යම් තරමක ආගන්තුකයෙක්නෙ... වෙළෙඳ දැන්වීම් රංගනයට වගේම නිරූපණ ක්ෂේත්‍රයට එක්වෙන්නෙ කොහොමද?
මම අධ්‍යාපන කටයුතු අවසන් වුණායින් පස්සෙ රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණ ශිල්පිනියක් ලෙසින් අවුරුදු එකහමාරක පමණ කාලයක් කටයුතු කළා. ඇත්තටම රොසෑන් අක්කා මට සහෝදරියක් වගේ. මම මේ ක්ෂේත්‍රයේ මේ තත්ත්වයෙන් ඉන්නෙ ඇය නිසයි.
නදීෂා පුංචි කාලෙත් නටන්න, රඟපාන්න දක්ෂ ඇති කියලයි අපිට හිතෙන්නෙ...
අපෝ නෑ.. මම පුංචි කාලෙ ගොඩක් ලැජ්ජාශීලී චරිතයක්. නටනව, රඟපානව තියා වැඩිය කතා කළෙත් නෑ. මම දැන් ඉන්න තත්ත්වෙට ආවෙ කොහොමද කියල අම්මටයි තාත්තටයිවත් හිතා ගන්න බැහැ. මම ඒ තරමට ම කුළෑටි ළමයෙක්.
මට සංගීතය පැත්තෙන් නම් දක්ෂතා තිබුණා. රංගනය පැත්තෙන් දක්ෂතා තිබුණත් ඒවා එළි දැක්වුණේ නැහැ. ඒ දේවල් දැනගෙන හිටියෙ මං විතරයි.
ඔයාගෙ මුල්ම රංගනයට ලැබෙන ප්‍රෙක්ෂක ප්‍රතිචාර මොන වගේද?
මේ දවස්වල මට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වයස් බේදයක් නැතිව පුංචි නංගිලා මල්ලිලා වගේම වැඩිහිටි අයත් මගෙ රඟපෑම් ගැන කතා කරන්නෙ සතුටෙන්. බස් එකේ යනකොටත් ගොඩක් අය මාව අඳුනගෙන කතා කරනවා. කවුරුත් මට දැන් කතා කරන්නෙ කැතී කියලා. මේ ප්‍රතිචාරත් එක්ක මම හිතනව මගේ රංගනය සාර්ථකයි කියලා.
කැතී ගෙ චරිතයට ලැබෙන ප්‍රතිචාර නිසා මම මේ දවස්වල ඉන්නෙ ගොඩක් සතුටෙන්.
ඔබේ මේ රංගනය දැකලා වෙනත් නිර්මාණවලට ආරාධනා එහෙමත් ලැබෙන්න ඇති...
අලුත් ටෙලි නාට්‍යවලට ආරාධනා නම් කීපයක්ම ලැබුණා. ඒත් ඒ හැම චරිතයක්ම කැතීගෙ චරිතයට සමානයි. ඒ හැම චරිතයකම එකාකාරී බවක් තිබුණ නිසා මම ඒ ආරාධනාවන් බාර ගත්තේ නැහැ.
නමුත් ධර්මජිත් පුනර්ජීවගෙ අලුත් චිත්‍රපටයට මට ආරාධනාවක් ලැබුණා. ඒක භූතයකුගේ චරිතයක්. මම විවිධ චරිත රඟපාන්න කැමැතියි. ඒ නිසා එවැනි චරිත කිරීමේ හැකියාවක් මට තිබෙන බව මම විශ්වාස කරනවා.
’අමන්දා’ කණ්ඩායමෙන්, ප්‍රවීණයින්ගෙන් නදීෂට ලැබුණෙ මොනවගේ සහයෝගයක් ද?
අපේ කණ්ඩායම වැඩ කරන්නෙ එකමුතුකමින්. අලුත් නිළියක් හටියට මට අනෙකුත් නළු නිළියන්ගෙන් උපරිම සහයෝගයක් ලැබෙනවා. රඟපාන්න එද්දි මේ වගේ එකමුතුකමක් දකින්න ලැබේවි කියල මම හිතුවෙ නැහැ. ඇත්තටම මට සතුටුයි, මේ වගේ පිරිසක් එක්ක මගේ මුල්ම රංගනයට දායක වෙන්න ලැබුණෙ මගේ වාසනාවටයි.
ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැන අපිට කියන්න අකැමැති නෑ නේද?
ඇයි මම අකැමැති වෙන්නෙ. නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙසින් මගේ දක්ෂතා දියුණු කරගනිමින් ඉදිරියට යන්න කැමැතියි.
මම බටහිර සංගීතය හදාරා තිබෙන නිසා ගිටාර්, පියානෝ, බොංගෝ වැනි සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාවත් මට තියෙනවා. ඒ වගේම ගී ගැයීමේ හැකියාවත් තිබෙන නිසා ඉදිරියේ දී ගායිකාවක් ලෙසින් මගේම නිර්මාණ එළිදැක්වීමටත් බලාපොරොත්තුවක් තියෙනවා.
මේ රුවැත්තිය රූමත් බවින් මෙන්ම දක්ෂතාවන්ගෙන් ද පිරිපුන් යෞවනියක්. ඔබේ සොඳුරු රුවෙන් මෙන්ම මියුරු හඩින් ද ප්‍රේක්ෂක ජනතාව සනසවන්නට නිබඳවම හැකි වේවායි අපි ඔබට සුබ පතමු.