Pages

Tuesday, October 5, 2010

මෙන්ඩිස්ගේ දියණිය නිපුනි මෙන්ඩිස් ගේ පළමු රංගනය

රකුන්සැරය

සංජය නිර්මාල් ගේ අධ්‍යක්ෂණයක්
ඒ 1815 වර්ෂයයි. හිතුවක්කාරකමත්, දඩබ්බරකමත් උපන් වත්කමක් ලෙස රැගෙන ආ තරුණයකු වන රවුරා රකුන්සැරය නැමැති සාම්ප්‍රදායික දැනුම, බලය නිධන්ගත වූ පුස්තකය සොරකම් කරයි.
රකුන්සැරය යොදා ගෙන එහි බලයෙන් මුලු විශ්වයම පාලනය කිරීම ඔහුගේ අරමුණ වෙයි.
ඔහුගේ මේ අකටයුතුකම් හෙළා දකින අය අතර පෙරමුණ ගන්නා එක් අයකි. ඒ මුණමුර නැමැති තවුසෙකි. ඔහු සිය මායා බලය උපයෝගී කර ගනිමින් කාල යන්ත්‍රයක උදව්වෙන් අනාගතයෙන් ළමයින් දෙදෙනකු කැඳවා රකුන්සැරය සොයන්න යවයි.
මේ ළමුන් දෙදෙනා ලංකා ඉතිහාසයේ ආරම්භයේ සිට මේ දක්වා සක්මන් කරමින් රකුන්සැරය සොයයි. ඔවුනට කුවේණි හමු වෙයි. විජය රජු, පණ්ඩුකාභය කුමරු, වලගම්බා රජු හමු වෙයි.
රවුරා, මුණමුර, කුවේණි, විජය මේ දිනවල ගම්පහ පිළිකුත්තුව අවට ප්‍රදේශයන්හී සැරිසරයි.
මේ පිරිස අධ්‍යක්ෂණය කරනුයේ සංජය නිර්මාල්ය. මේ ටෙලි නිමැවුමේ නම ද රකුන්සැරයම වන්නේය. එන්න අපි මොහොතක් නවතිමු රකුන්සැරය දර්ශන තලයේ.
සුන්දරත්වයෙන් අගතැම්පත් පිළිකුත්තුව අවට ප්‍රදේශයේ ඉතිහාසයේ එන ඉදි කිරීම් රැසකි. එක තැනක කුවේණිගේ මාලිගාවයි. ඇය කපු කටිමින් සිටින්නීය. දුටු කොයි කාගෙත් සිත අතීතයට රැගෙන යන්නේ නිරායාසයෙනි. ඒ ඇහැලියගොඩ සෝමතිලකයන්ගේ නිමැවුම්ය. ඔහුගේ කලා අධ්‍යක්ෂණයේ ප්‍රතිභාවෙන් සැබවින්ම යළි ලාංකේය ඉතිහාසය ගොඩ නගා ඇති අයුරු අනර්ඝය.
රකුන්සැරයේ කුවේණිය ගේ සැබෑ නම නිපුනි මෙන්ඩිස් වේ. ජනප්‍රිය නළු නිළි යුවළක් වන ශ්‍රියන්ත මෙන්ඩිස්ගේත් කුසුම් රේණුගේත් ආදරණීය දියණිය වන ඇගේ පළමු රංගනය සිදු වන්නේ රකුන්සැරය හරහා වේ.
මෙදින රූගත කිරීම් සිදු වෙමින් පැවැතියේ යක්ෂ ගෝත්‍ර කාලයට ළමුන් දෙදෙනා පැමිණි සිටි දර්ශනයකි. නවක ළමා නළු දෙවුනක පෝරගේ සමඟ උත්පලා මධුශානි රකුන්සැරය සොයා යාමේ චාරිකාව ආරම්භ කිරීමට විධානය ලැබෙන තෙක් සිටියේය. උත්පලයි, දෙවුනකයි මෙහෙම එනවා. එතකොටම ඔයා මේ පර්වතය උඩ ඉඳලා පැනලා උත්පලාව අරගෙන ඈතට දුවන්න ඕනෑ.
සංජය යක්ෂ ගෝත්‍රික තරුණයකුට රඟන තරමක් මහත නවක රංගන ශිල්පියකු වන ඩිලාන්ට උපදෙස් දුන්නේය.
නිෂ්පාදක කණ්ඩායම ඉමහත් වෙහෙසක් දරමින් ඩිලාන්ව පර්වතයට නැංගුවේය.
ඇක්ෂන්.
ඩිලාන් , උත්පලා ඉදිරියට පැන්නේ ඇගේ කකුලත් පාගමිනි.
සිදු වූ මේ හදිසි තත්ත්වය නිසා රූගත කිරීම නතර කළේය.
හොඳ වෙලාවට යන්තම් කකුලේ ඇඟිල්ලක් විතරයි පෑගුනේ. නැතිනම් ඩිලාන් අයියා පැනපු විදිහට කකුල උඩට වැටුනා නම් කකුලක් ගේන්න වෙනවා.
ඒ උත්පලාගේ නෝක්කාඩු හඬය.
කොහොමද ධනංජය, රවුරා හරිම දඩබ්බරයි නේද?
ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. රවුරා වෙනුවෙන් ම අපූරු ඇඳුම් කිහිපයක් නිර්මාණය කළා. ලොකු ලෝගුවක්, අමුතු සපත්තු දෙකක් ඊට ඇතුළත්. ඇඳුම් ඇඳ ගත්තට පස්සේ මටම මාව අඳුන ගන්න බැරිව ගියා.
රකුන්සැරයෙහි මුණමුර තවුසා තවත් වැදගත් චරිතයක්. මුණමුර වී හිඳින්නේ ලක්ෂ්මන් මෙන්ඩිස්.
රකුන්සැරය පිළිබඳ ඔහු අපූරු තොරතුරු කිහිපයක් හෙළි කළේය.
රකුන්සැරය රූගත කිරීම් කෙරෙන කාලයම අපට අමතක නොවන අත්දැකීමක්. මහාවංශයේ එන සියලුම රජවරු රකුන්සැරය ඔස්සේ ඔබ හමුවට පැමිණෙනවා. අප රටේ ඉතිහාසය විෂයය අධ්‍යාපනයෙන් ඉවත් වෙලා තියෙන යුගයක මෙවැනි ටෙලි නාට්‍යක වටිනාකම වැඩියි ඉතිහාසය හදාරන අයට. මුණමුර තාපසයා තමයි අර ළමයි දෙන්නව යවලා රකුන්සැරය හොයන්න උත්සාහ කරන්නේ. මමත් හරිම ආසාවෙන් ඉන්නේ රකුන්සැරය විකාශය වන තුරු.
මෙහි සහය අධ්‍යක්ෂ නිශාන්ත රණසිංහ රකුන්සැරය රූගත කෙරෙන අතරතුරදී සිදු වූ අති භායනක සිදුවීමක් මෙසේ විස්තර කළේය.
දෙවුනක පෝරගේ අඩි පණහක පමණ උඩකින් වැටෙන දර්ශනයක් රූගත කරන්නට අපි සැලසුම් කරගෙන හිටියා. නමුත් නිෂ්පාදක කණ්ඩායමේ සියලු දෙනාගේම සිතේ සැකයක් තිබුණා අපි මේකට දෙවුනකව යොදා ගන්නව ද නැතිනම් වෙනත් අදේශක අයකු යොදා ගන්නව ද කියලා.
අපි හැමෝවම විස්මයට පත් කරමින් දෙවුනක කැමැති වුණානේ ඉහළින් පනින්න. අපි ලණු භාවිතා කරමින් හරිම තාත්ත්විකව එම දර්ශනය රූගත කළා.
රකුන්සැරය වෙනුවෙන් අයිරාංගනී සේරසිංහ, නිහාල් ප්‍රනාන්දු, අනූෂා දමයන්ති, වසන්ත කොටුවැල්ල, රමණී සිරිවර්ධන, නිමන්ති පෝරගේ, රන්දික විමලසූරිය රංගන වගකීම ඉටු කරති.
මෙහි සටන් අධ්‍යක්ෂණය අජන්ත පෙරේරාගෙනි. අංගම් පොර කලාවේ එක් අංගයක් වන රක්ෂස සටන් කලා ප්‍රබේධය මේ සඳහා යොදා ගත් බව අජන්තා වැඩිදුරටත් අප සමඟ ප්‍රකාශ කළේය. කැමරාව ප්‍රභාත් රෝෂන් සමඟ විශ්වජිත් කරුණාරත්නගෙනි. නයනා එස්. ගමගේ විධායක නිෂ්පාදකවරිය වේ. මෙවන් හරවත් ටෙලි නිමැවුමක සංකල්පය ආචාර්ය දමින්ද පෝරගේගේය. තිර පිටපත රැවන් හරිශ්චන්ද්‍ර ගෙනි . හැරල්ඩ් කරුණාතිලක නිෂ්පාදන කළමනාකරුය. රකුන්සැරය ද අයි ගෲප් ආයතනයේ ් නිෂ්පාදනයකි.

No comments:

Post a Comment