Pages

Friday, October 1, 2010

නදීෂා ගේ බලු පැටියා

නදීෂා ගේ බලු පැටියාගේ නම බෂාර්

අලුතෙන්ම රඟපාන්නේ භූතයෙක් හැටියට

ඇය රුවැත්තියක්. සිහින් සිරුර, දීප්තිමත් දෑස මෙන්ම ඕනෑවට එපාවට පීරා ගත් කොණ්ඩය වුවද ඇගේ රුවට ගෙන දෙන්නේ සොඳුරු බවක්. ඒ හැමටම වඩා ඈ වෙතින් දිස්වන්නේ කෙළිලොල් දඟකාර බවක්.
ඈ එකිනෙකා පරයමින් මුදල් සෙවීමත් ජනපි‍්‍රය චරිතයක් වීමේ සිහිනය සැබෑකර ගැනීමත් තම ජීවිතයේ ඒකායන අරමුණ කරගත් තරුණියක්. ඒ අරමුණු ජය ගැනීම උදෙසා මිස තම ජීවිතයේ වටිනාකම් ගැන නොසිතන ඇය නූතන තරුණ පරපුරේ එක් පැතිකඩක් අප දෑස් අභිමුවට ගෙන එයි.
’කැතී’ යැයි කියූ පමණින් බොහෝ දෙනෙක් ඇය හොඳින් හඳුනයි. එපමණට ම ඇය මේ වන විටත් තම නිසග හැකියාවෙන් ප්‍රේක්ෂක අවධානය තමා වෙත රඳවා ගැනීමට සමත් වී සිටී. ‘අමන්දා’ හි දඟකාර, කටකාර කැතී ට පණ පොවන ඇය එතරම් දන්නා හඳුනන කෙනෙක් නොවන නිසාම බොහෝ දෙනෙක් ඇගේ වතගොත විමසනවා. ඒ නිසාමයි අප කැතී සමඟින් කතා බහකට යොමු වුණේ.
ඉස්සරවෙලාම කියන්න කැතී ඔයා කවුද? ඔයාගෙ නම, ගම, පවුලේ විස්තර ගැන...
මගේ නම නදීෂා යාපාගේ. තාත්තා යාපාගේ පියතිස්ස. අම්මා රංජනී වෙල්ගම. මට අයියා කෙනෙක් ඉන්නවා. ඔහු ලෙබනන්වල හොටෙල් මැනේජ්මන්ට් කරනවා. අපි පදිංචිවෙලා ඉන්නෙ කලගෙඩිහේනේ. අම්මයි තාත්තයි අවුරුදු තිහක් පමණ හිටියෙ ලෙබනන්වල. ඉතින් මම ඉපදුණෙත් එහේදි. අධ්‍යාපන කටයුතු කළෙත් ලෙබනන්වලමයි. මට අවුරුදු 15 ක් විතර වෙනකොට අපි ලංකාවට ආවා.
ආ.... තව.. මට ඉන්නවා බලු පැටියෙක්. එයාගෙ නම බෂාර්. මම එයාට කියන්නෙ මල්ලි කියලා.
ඇය වේගවත්ව කතා කරගෙන යනවා. දෑත විහිදමින් හරි අපූරුවට කතා කරන ඇයගෙ දඟකාර බවත් සමගින් ඇති අවිහිංසක බවට මේ කතා ලතාවෙන් නම් බාධාවක් නැහැ.
ඔයා ඉපදිලා හැදුණෙ වැඩුණෙ ලෙබනන්වල උනාට සිංහල හොඳට කතා කරන්න පුළුවන්නේ....
ඔව්, මට සිංහල කතා කරන්න පුළුවන්. එහේදි අම්මයි තාත්තයි අපි එක්ක කතා කළේ සිංහලෙන්. ඒ දෙන්නා හැමදාම පැයක පමණ කාලයක් ඒ වෙනුවෙන් කැප කිරීමේ ප්‍රතිඵලය තමයි මේ...
නදීෂා කොහොමද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ආවෙ...
මම ගීත සඳහා රංගනයෙන් දායක වුණා. ඒ වගේම ඩයලොග්, කැල්ටෙක්ස්, ගුඩ් ලුක් වැනි වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියා. 2010 වසරේ පී‍්‍රමා කොත්තු මී කැලැන්ඩරයට නිරූපිකාවක් ලෙසින් දායක වෙන්නත් පුළුවන්කම ලැබුණා.
ඉන්පස්සෙ ලක්මිණී සහ ලක්රුවන් කියන මගෙ යාලුවො දෙන්නා තමයි අමන්දා ටෙලි නාට්‍යයේ ඉන්ටර්වීව් එකට යන්න මාව පෙළඹුවෙ. එහිදී ලිලන්ත කුමාරසිරි මහතාත්, සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියත් මාව කැතී ගෙ චරිතය සඳහා තෝරා ගත්තා. මේ චරිතයට මාව තෝරා ගැනීම සම්බන්ධයෙන් මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.
ඔයා ලංකාවට එද්දී මේ රටට යම් තරමක ආගන්තුකයෙක්නෙ... වෙළෙඳ දැන්වීම් රංගනයට වගේම නිරූපණ ක්ෂේත්‍රයට එක්වෙන්නෙ කොහොමද?
මම අධ්‍යාපන කටයුතු අවසන් වුණායින් පස්සෙ රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණ ශිල්පිනියක් ලෙසින් අවුරුදු එකහමාරක පමණ කාලයක් කටයුතු කළා. ඇත්තටම රොසෑන් අක්කා මට සහෝදරියක් වගේ. මම මේ ක්ෂේත්‍රයේ මේ තත්ත්වයෙන් ඉන්නෙ ඇය නිසයි.
නදීෂා පුංචි කාලෙත් නටන්න, රඟපාන්න දක්ෂ ඇති කියලයි අපිට හිතෙන්නෙ...
අපෝ නෑ.. මම පුංචි කාලෙ ගොඩක් ලැජ්ජාශීලී චරිතයක්. නටනව, රඟපානව තියා වැඩිය කතා කළෙත් නෑ. මම දැන් ඉන්න තත්ත්වෙට ආවෙ කොහොමද කියල අම්මටයි තාත්තටයිවත් හිතා ගන්න බැහැ. මම ඒ තරමට ම කුළෑටි ළමයෙක්.
මට සංගීතය පැත්තෙන් නම් දක්ෂතා තිබුණා. රංගනය පැත්තෙන් දක්ෂතා තිබුණත් ඒවා එළි දැක්වුණේ නැහැ. ඒ දේවල් දැනගෙන හිටියෙ මං විතරයි.
ඔයාගෙ මුල්ම රංගනයට ලැබෙන ප්‍රෙක්ෂක ප්‍රතිචාර මොන වගේද?
මේ දවස්වල මට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වයස් බේදයක් නැතිව පුංචි නංගිලා මල්ලිලා වගේම වැඩිහිටි අයත් මගෙ රඟපෑම් ගැන කතා කරන්නෙ සතුටෙන්. බස් එකේ යනකොටත් ගොඩක් අය මාව අඳුනගෙන කතා කරනවා. කවුරුත් මට දැන් කතා කරන්නෙ කැතී කියලා. මේ ප්‍රතිචාරත් එක්ක මම හිතනව මගේ රංගනය සාර්ථකයි කියලා.
කැතී ගෙ චරිතයට ලැබෙන ප්‍රතිචාර නිසා මම මේ දවස්වල ඉන්නෙ ගොඩක් සතුටෙන්.
ඔබේ මේ රංගනය දැකලා වෙනත් නිර්මාණවලට ආරාධනා එහෙමත් ලැබෙන්න ඇති...
අලුත් ටෙලි නාට්‍යවලට ආරාධනා නම් කීපයක්ම ලැබුණා. ඒත් ඒ හැම චරිතයක්ම කැතීගෙ චරිතයට සමානයි. ඒ හැම චරිතයකම එකාකාරී බවක් තිබුණ නිසා මම ඒ ආරාධනාවන් බාර ගත්තේ නැහැ.
නමුත් ධර්මජිත් පුනර්ජීවගෙ අලුත් චිත්‍රපටයට මට ආරාධනාවක් ලැබුණා. ඒක භූතයකුගේ චරිතයක්. මම විවිධ චරිත රඟපාන්න කැමැතියි. ඒ නිසා එවැනි චරිත කිරීමේ හැකියාවක් මට තිබෙන බව මම විශ්වාස කරනවා.
’අමන්දා’ කණ්ඩායමෙන්, ප්‍රවීණයින්ගෙන් නදීෂට ලැබුණෙ මොනවගේ සහයෝගයක් ද?
අපේ කණ්ඩායම වැඩ කරන්නෙ එකමුතුකමින්. අලුත් නිළියක් හටියට මට අනෙකුත් නළු නිළියන්ගෙන් උපරිම සහයෝගයක් ලැබෙනවා. රඟපාන්න එද්දි මේ වගේ එකමුතුකමක් දකින්න ලැබේවි කියල මම හිතුවෙ නැහැ. ඇත්තටම මට සතුටුයි, මේ වගේ පිරිසක් එක්ක මගේ මුල්ම රංගනයට දායක වෙන්න ලැබුණෙ මගේ වාසනාවටයි.
ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැන අපිට කියන්න අකැමැති නෑ නේද?
ඇයි මම අකැමැති වෙන්නෙ. නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙසින් මගේ දක්ෂතා දියුණු කරගනිමින් ඉදිරියට යන්න කැමැතියි.
මම බටහිර සංගීතය හදාරා තිබෙන නිසා ගිටාර්, පියානෝ, බොංගෝ වැනි සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාවත් මට තියෙනවා. ඒ වගේම ගී ගැයීමේ හැකියාවත් තිබෙන නිසා ඉදිරියේ දී ගායිකාවක් ලෙසින් මගේම නිර්මාණ එළිදැක්වීමටත් බලාපොරොත්තුවක් තියෙනවා.
මේ රුවැත්තිය රූමත් බවින් මෙන්ම දක්ෂතාවන්ගෙන් ද පිරිපුන් යෞවනියක්. ඔබේ සොඳුරු රුවෙන් මෙන්ම මියුරු හඩින් ද ප්‍රේක්ෂක ජනතාව සනසවන්නට නිබඳවම හැකි වේවායි අපි ඔබට සුබ පතමු.

 

1 comment: