Pages

Sunday, March 18, 2012

නිළියක වීම මගේ වාසනාව

පියුමි බොතේජු

අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයෙන් හමුවන්නේ පියුමි ශානිකා බොතේජු ය. වේදිකාව, සිනමාව, රූපවාහිනිය යන ක්ෂේත්‍ර තුනේදීම තම රංගන හැකියාව මනාව ප්‍රකට කරන පියුමි දක්ෂ නිවේදිකාවක ද, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ද වන්නීය. ඇය පේ‍්‍රක්ෂකයින් අතර වඩාත්ම ජනපි‍්‍රය වූයේ ‘පබා’ ටෙලි නාට්‍යයේ හිමාලි ගේ චරිතයෙනි.

ඉතින් කොහොමද පියුමි මොනවද අලුත් තොරතුරු...?
හොඳින් ඉන්නව. මේ දවස්වල ටිකක් විතර වැඩ වැඩියි. නදී චන්ද්‍රසේකරගේ අලුත්ම ටෙලි නාට්‍යයේ වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නව. ඒ වගේම වේදිකා නාට්‍ය දෙකකටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ; “රෝමය ගිනිගනී”, “සිකුරු සවාරි” කියන වේදිකා නාට්‍ය දෙක. ඊට අමතරව ‘සිරි දළදාවත’ චිත්‍රපටයටත් දිනේෂ් පි‍්‍රයසාද්ගේ ‘ඔළුව ජපන් කඳ ජර්මන්’ කියන චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙනවා. මෙය ප්‍රහසනාත්මක චිත්‍රපටයක්. ඒ වගේම දෙරණ රූපවාහිනී නාළිකාවේ “t - පාටි” වැඩසටහන ඉදිරිපත් කිරීමටත් මම දායක වෙනවා. මේ වගේ වැඩත් එක්ක තමයි කාලය ගතවෙන්නේ.

දෙරණ “t - පාටි” වැඩසටහනට හොඳ ප්‍රතිචාර ලැබෙනව ඇති...?
ඇත්තෙන්ම ඔව්. සමාජයේ විවිධ මට්ටම්වල පේ‍්‍රක්ෂකයින් ගෙන් විවිධ ප්‍රතිචාර මට ලැබෙනව. මම ඒ වැඩසටහන ඉදිරිපත් කළාට බොහෝ දෙනෙකුගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස තමයි “t - පාටි” වැඩසටහන එන්නේ. ළඟදී ඉදිරිපත් කළ “කුස පබා” චිත්‍රපටයේ ශිල්පීන් සම්බන්ධ වුණු වැඩසටහන ගැන ගොඩක් දෙනෙක් කතා කළා.

නිවේදිකාවක් ලෙස ඔබ ක්ෂේත්‍රයට ආ ගමන ගැන සිහිපත් කරමු?
මම මුලින්ම නිවේදිකාවක්. මම මුලින්ම සම්බන්ධ වුණේ ලක්හඬ ගුවන් විදුලියට. ඉන් පසුව මම ජාතික රූපවාහිනියට සම්බන්ධ වුණා සහාය නිෂ්පාදකවරියක් ලෙස පුහුණු වෙන්න. ඒ කාලෙ රූපවාහිනී වැඩසටහන් කීපයක් ඉදිරිපත් කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ දිනවල මම ජාතික රූපවාහිනියේ “ටී බ්රේක්” වැඩසටහන ඉදිරිපත් කළා. ඉන් පසුව මම ස්වර්ණවාහිනියෙත් වැඩ කළා.

රංගනයේදී ඔබට වේදිකාවත් හොඳට හුරුයි නේද?
ඔව් මම වේදිකා නාට්‍ය ගණනාවක රඟපාල තියෙනව. මේ දිනවලත් මම වේදිකා නාට්‍ය දෙකක් එක්ක ඉන්නවා. මුලින්ම මම රංගනයෙන් දායක වුණේ හේමන්ත ප්‍රසාද්ගේ “මල්සර බිසව්” වේදිකා නාට්‍යයට. ඉන් පසුව “දෙනුවර දෙන්නෙක්” ‘තාරාවෝ ඉගිලෙති’ වැනි වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වුණා. 2007 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේදී කුසලතා සම්මානයක් මට හිමි වුණා.

ඔබ වඩාත් කැමැති වේදිකාවට ද, සිනමාවට ද, ටෙලිනාට්‍යවලට ද?
මේ ක්ෂේත්‍ර තුනේම ඉන්න කෙනෙක් විදියට මම මේ තුනටම කැමැතියි. හැබැයි වේදිකාවෙන් අපට හැම තිස්සෙම ඉගෙන ගන්න යමක් තියෙනව. වේදිකාව, රංගනය පිළිබඳ පාසලක් වගෙයි. ඒ වගේම වේදිකාව හරිම සජීවියි. නමුත් මම මේ ක්ෂේත්‍ර තුනටම කැමැතියි.

“භාර්යාවෝ” ටෙලි නාට්‍යයේ රංගනය ගැන කතා කරමු...?
මේ ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ ශේනු කියන කාන්තාවගේ චරිතය. ශේනු කට්ට ගැහැනියක්. ඇය තමන්ගේ අරමුණ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම් කාන්තාවක්. නමුත් ඇය හොඳින් ආදරය කරන කෙනෙක්. මට ලැබෙන හැම චරිතයක් වගේම ශේනුගේ චරිතයත් මම හරිම කැමැත්තෙන් කළේ. මගේ දිගට තිබුණු කොණ්ඩය ළඟදි කැපුවා. ඉන් පසුව රංගනයෙන් දායක වුණු පළමු ටෙලි නාට්‍යය තමයි ‘භාර්යාවෝ.’ ඒ වෙනසටත් එක්ක හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මොනවද ඔබේ පවුලේ තොරතුරු?
මගෙ සැමියා චමල්. ඔහු වැඩිපුර ඉන්නෙ රට. ඒ ඔහුගෙ රැකියාව නිසා. මම මගේ වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ට ඔබේ ගරුත්වයක් තිබෙනවා ද?
ඔව්. ප්‍රවීණයන්ට මම අනිවාර්යයෙන්ම ගරු කරනවා. ප්‍රවීණයන්ට විතරක් නෙමෙයි ක්ෂේත්‍රයේ ඉන්න සෑම දෙනාටම මම ගරු කරනව. මා එක්ක වැඩ කරන අය ඒකට සාක්ෂි දරාවි. සමහරු කියනව ටෙලි නාට්‍යවල වැඩ කරද්දි කාර්මික ශිල්පීන්ව වැඩිය කරේ දාගන්න එපා කියල. මම එහෙම කරන්නෙ නෑ. කාර්මික ශිල්පීන් හැටියට ඔවුන්ගෙ විෂය ඔවුන් හොඳින් ප්‍රගුණ කළ අය. ඒ ප්‍රවීණත්වයට, දක්ෂතාවයට මම ගරු කරනවා. ඒ සියලු දෙනාටම ඔවුන්ට ලබා දෙන්න ඕන ගෞරවය මම ලබා දෙනවා.

මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු?
මේ වන විට මට අවස්ථාව ලැබිල තියෙනව විවිධාකාර චරිත රඟපාන්න. ඉදිරියේදීත් චරිතාංග නිළියක් ලෙස විවිධ වූ චරිත රඟපාමින් රංගනයෙන් ඉදිරියට ඒමයි මගේ අරමුණ.

රංගන ශිල්පිනියක් වීම ගැන ඔබ සතුටු ද?
අනිවාර්යෙන්ම. නිළියක් වීම මගේ වාසනාව නිසා සිදුවූ දෙයක් කියලයි මම හිතන්නෙ. මේ තරම් ජනතාවකගේ ආදරය දිනාගන්න ලැබෙන්නේ නළුවකුට හෝ නිළියකට පමණක් බවයි මගේ හැඟීම.

රංගනය තුළ මෙතෙක් ආ ගමන ගැන ඔබ සතුටු ද?
ඔව්. මම ආවෙ සෙමෙන් ගමනක්. එක රැයකින් ජනපි‍්‍රය වෙලා පහුවදා නැතිවෙලා යන්න මම මේ ක්ෂේත්‍රයට ආවෙ නෑ. ඉදිරි ගමනත් ස්ථාවරව සාර්ථකව යාමයි මගේ අරමුණ.

දේශපාලනයට පිවිසෙන්න අදහසක් නැති ද?
නෑ. එහෙම අදහසක් නෑ.


No comments:

Post a Comment