Pages

Sunday, July 4, 2010

ජගත් බෙනරගම අතගත් මනාලිය රේණුකා

අලුත් ජීවිතේ බොහොම සුන්දරයි...
ජගත් බෙනරගම

විවාහය සාමාන්‍යයෙන් පොදු දෙයක්‌ වුවත්, අප අතර සිටින විශේෂ පුද්ගලයෙක්‌ ඒ සුබ මොහොත පසුකළේ නම් බොහෝ දෙනා ඒ ගැන කතා කරන්නේත් සොයා බලන්නේත් පුදුම ආශාවකින් සහ උනන්දුවකින්. එවැනි අවස්‌ථාවක්‌ ලාංකීය කලා ක්‍ෂෙත්‍රයේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියකුට පසුගිය දා උදා වුණා. ඔහු නමින් ජගත් බෙනරගම. ජගත්ගේ අතගත් මනාලිය රේණුකා. දශක තුනකට ආසන්න කාලයක්‌ කලාකරුවකු ලෙසට ක්‍ෂෙත්‍රයේ රැදෙමින් ආ ගමන් මග ගැනත් අලුත් ජීවිතය ගැනත් ජගත් අප සමග පැවසුවේ මේ අයුරින්.

"අලුත් ජීවිතේ නම් බොහොම සුන්දරයි. මම ප්‍රාර්ථනා කරපු විදිහේ කෙනෙක්‌ හමුවුණා. අලුත් බලාපොරොත්තු එක්‌ක සතුටින් ජීවත් වෙනවා."

මොනවද ඒ ප්‍රාර්ථනා?

මම සාමාන්‍යයෙන් සහකාරියක්‌ කියලා හිතුවේ ගෙදර දොර වැඩ කටයුතු ගැන අවබෝධයක්‌ තියෙන. ඒ වගේම හොඳ නිවිච්ච හිතක්‌ තියෙන, යමක්‌ තේරුම්ගන්න පුළුවන් සහ පුහු ආටෝප නැති බොහොම චාම් කෙනෙක්‌. ඒ සිතුවිල්ල ඒ විදිහටම අද මට ලැබිලා තියෙනවා."

බිරිඳගේ තොරතුරු?

එයාගේ නම රේණුකා පුෂ්පකුමාරි විදාන. ජල සම්පාදන මණ්‌ඩලයේ තමයි රේණුකා සේවය කරන්නේ. ගම හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ කිරම.

කොහොමද ඒ හමුවීම සිද්ධ වුණේ?

මගෙ ලොකු අක්‌කාගෙ යාළුවෙක්‌ මාර්ගයෙන් තමයි රේණුකාව මට මුණගැහුනේ. ඊට මාස අටකට පස්‌සේ විවාහ උත්සවය ගන්න තීරණය කලා.

විවාහ උත්සවය ගැනත් කතා කරමු?

පසුගිය ජුනි මාසේ තුන්වෙනිදා පිළියන්දල දැල්තර පැරඩයිස්‌ ඉන් හෝටලයේ තමයි විවාහ උත්සවය ගත්තේ. සාක්ෂිකරුවන් හැටියට අත්සන් කළේ ටවර්හෝල් රඟහල පදනමේ ඩග්ලස්‌ සිරිවර්ධන මහතාත් ප්‍රවීණ කලාකරුවකු වන ජයලත් මනෝරත්නයන්. එදාම තමයි මගේ නෑදැයින්ට දහවල් කාලේ සංග්‍රහයත්, රේණුකාගේ පැත්තේ නෑදැයන්ට රාත්‍රි කාලයේ ආරධනා කරලා සංග්‍රහ කළේ. ඒක නිසා අපේ විවාහ උත්සවය ගත්තේ එක දවසයි.

කලාකරුවන්ට උත්සවයට ආරාධනා නොකළේ?

එහෙමම ලොකු හේතුවක්‌ තිබුණේ නැහ. මම හැම වැඩක්‌ම කරන්නේ සීමාවක්‌ ඇතුව. ඒ වෙද්දි මම විවාහ වෙන කාලයත් පැනලා තිබුණේ. අනික එක්‌කෙනෙකුට කිව්වොත් හැමෝටම කියන්න ඕන. ඉක්‌මණින් විවාහ වෙන එක හොඳයි කියලා හිතුවා. රේණුකාගේ පවුලේ අයත් හරිම හොඳයි. ඒ නිසා කාටවත් නොකියා පවුල් දෙකේ ආශිර්වාදය ඇතුව විවාහ උත්සවය ගත්තා.

බිරිඳ මොනවගේ ප්‍රතිචාරයක්‌ද ඔබේ කලාකටයුතුවලට දක්‌වන්නේ?

ඇත්තටම කියනවනම් එයා ටෙලිනාට්‍යය නරඹපු කෙනෙක්‌ නෙමෙයි. වේදිකා නාට්‍යයත් බොහොම අඩුවෙන් බලලා තිබුණේ. මාව අඳුනගත්තට පස්‌සේ තමයි පබා නාට්‍යය වුණත් බලන්න යොමුවුණේ. දැන් නම් මම රඟපාපු නාට්‍ය හොය හොයා බලනවා. එයාට හොඳ තේරුම් ගැනීමක්‌ තියෙනවා මගේ වෘත්තිය ගැන.

පබාගෙන් පස්‌සේ අද රංගන ජීවිතේ තතු?

මම මුලින්ම රඟපාපු ජයලත් මනෝරත්නයන්ගේ රන්සිරිගේ සංග්‍රාමයත් දෙවනුව රඟපෑ නාලන් මෙන්ඩිස්‌ මහත්මාගේ නෑදැයෝ ටෙලිනාට්‍යයෙනුත් පස්‌සේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්‌ ලැබුණේ පබා නාට්‍යයේ උක්‌කුවට. විශේෂයෙන් විදේශ රටවලින් ලැබුණු ප්‍රතිචාර බොහොම ඉහළයි. පසුගිය වසරේ චිත්‍රපට හතරක රඟපෑවා. එයින් එකක්‌ ස්‌තූතියි නැවත එන්න මේ දිනවල තිරගත වෙනවා. නිශාන්ත අල්විස්‌ගේ රජානෝ, බෙනට්‌ රත්නායකගේ ඉර හඳ යට, රියඅද්මිරාල් සරත් වීරසේකරගේ ගාමණී චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා.

වසරක්‌ තුළ චිත්‍රපට හතරක රඟපෑම තුළ යම්කිසි සුවිශේෂීත්වයක්‌ තිබෙනවා?

මම චිත්‍රපට ගොඩක රඟපාලා නැහැ. අවුරුදු විසිහයක්‌ වන රංගන ජීවිතේ පුරාවට චිත්‍රපට දහතුනක විතර තමයි රඟපාලා තියෙන්නේ.

බොහෝ විට ඒ නිර්මාණ අතුරිනුත් වැඩි ප්‍රමාණයක්‌ සම්භාව්‍ය මට්‌ටමේ නිර්මාණ?

මෑතක කරපු නිශාන්ත අල්විස්‌ගේ රජානෝ චිත්‍රපටය විතරයි වාණිජ චිත්‍රපටයක්‌ හැටියට මම රඟපෑවේ. මට බොහෝ වෙලාවට වාණිජ නිර්මාණවලට කතා කරනවා අඩුයි. වාණිජ සිනමාවේ රඟපෑවත් ඒ හැම චරිතයක්‌ම කලාත්මක මට්‌ටමේ යමක්‌ කරන්න පුළුවන් ගුණාත්මක චරිත.

වේදිකාවෙන් පැමිණි අයෙක්‌ විදිහට අද වග තුග?

වේදිකාවෙන් ලැබුණු ආභාෂය පලපුරුද්ද නිසා තමයි මෙවැනි ගමනක්‌ අද ඒන්න ලැබිලා තියෙන්නේ. මේ වෙද්දි ගුරු තරුව, තල මල පිපිලා, අන්දරේලා, සිහිනවලට පාට දෙන්න නාට්‍යය වේදිකාගත වෙමින් තියෙනවා. ඒ ඇරුණහම තව නිර්මාණ බොහොමයක්‌ අද නැවතිලා තියෙනවා.
ෙíaත්‍රය තුළ ඔබ නළුවෙක්‌ පමණද?

නැහැ. තිරපිටපත් රචකයෙක්‌ හැටියට ටෙලිනාට්‍යය පිටපත් දෙකක්‌ ලියලා ඒවා විකාශය වෙලත් තියෙනවා. ඒ හීනයට අවසරයි සහ ලා සඳපාමුල නමින්. සඳ නොදුටු සඳ කියලා ටෙලිනාට්‍යයක්‌ අධ්‍යක්ෂණය කරලා තියෙනවා. තවත් ටෙලිනාට්‍යයක්‌ අධ්‍යíණය කරන්න දළ සැකසුම් සකසමින් තියෙනවා. නමුත් කාලවේලාව වෙන්කරගැනීමේ අපහසුව තමයි තියෙන්නේ.

නළුවෙක්‌ වීම ගැන අද දැනෙන්නේ?

වේදිකාවට සම්බන්ධ වුණ කාලෙදි රජයේ උසස්‌ රැකියාවක්‌ කරපු කෙනෙක්‌ මම. එතනදි මට තේරුනා ඒක හරියන්නේ නැහැ මගේ ඇගේ තියෙන්නේ රංගනය. ඒක කොහොම හරි ගොඩනගාගෙන යම් ස්‌ථාවරත්වයට එන්න ඕන කියලා. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගනිමින් කලාකරුවෙක්‌ වීම ගැන තෘප්තිමත්.

හෙට දවසේ කලා කටයුතු?

මේ දිනවල නිල් නෙතු ටෙලිනාට්‍යයේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙනවා. සැප්තැම්බර් මාසේ සිට කපිල සූරියආරච්චි මහතාගේ අලුත් චිත්‍රපටයේ රෑගත කිරීම්වලට සම්බන්ධ වෙන්න තියෙනවා.

No comments:

Post a Comment