කපිලගේ බිරිය නෙලූ අධිකාරි නවලිය සමඟ

ඇත්තටම කපිලව මං හඳුනාගත්තේ පුංචි කාලෙදීයි. ඔහු මගේ අම්මාගේ හොඳම ගෝලයන් අතරින් එක්කෙනෙක්. මගේ අම්මා ලලිතා මල්ලිකා. ඇය සංගීත ගුරුවරියක්. ඇය ඉගැන්වූ හලාවත ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක් තමයි කපිල. මමත් සංගීත අංශයෙන් උසස් පෙළ කරන්න ආනන්දයට ගියා. අපි අතරේ මිත්‍රකමක් තිබුණා. ඒ මිත්‍ර කම අපි සෞන්දර්ය විශ්ව විද්‍යාලයට එද්දී ප්‍රේමයකට පෙරලිලයි තිබුණේ. අපි දෙන්නාම තීරණය කරලා තිබුණා යම්කිසි ස්ථාවරයකට එනකම් අපේ සම්බන්ධය ගෙවල්වලට නොදන්වා ඉමු කියලා. ඒත් අපි විශ්වවිද්‍යාලයේ හතරවන වසරේ ඉද්දී මගේ අම්මා අසනීප වුණා. ඒ නිසා ඇය මට විවාහ වෙන්න යෝජනා කළා. අපේ තාත්තත් එතකොට පිටරට හිටියේ. අයියත් විවාහ වෙලා. ඒ නිසා අපි අපේ සම්බන්ධය ගෙවල්වලට කිව්වා. එයා අම්මගේ හොඳ ගෝලයෙක් නිසා කපිලට කැමති වුණා. අපි දෙපාර්ශවයේ ආශිර්වාද මැද විවාහ වුණා.
කපිල ඒ දවස්වල පාසලේ ජනප්‍රිය චරිතයක්. ඔහු තුළ සංගීතය පිළිබඳව විශේෂ කුසලතාවයක් තිබුණා. මම එය අවබෝධ කරගෙනයි හිටියේ. සංගීතය තමයි අපි දෙන්නා සමීප කළේ.
කපිල නිදහස් පුද්ගලයෙක්. නිදහසට කැමතියි. වැඩ බදාගන්න කෙනෙක් නොවෙයි. කරන දේ ඉතාම හොඳින් කරන්න මහන්සි ගන්නවා.
කලින් රැකියාවක් කළා. දැන් ඔහු රැකියාවට යන්නේ නැහැ. ඔහු සතු කුසලතාවයන් ප්‍රයෝජනයට අරගෙන තමයි ඔහු මුදල් උපයන්නේ. මමත් මුදල් උපයනවා. හැබැයි එහෙම කියලා අපේ ගෙදර ගෘහ මූලිකයෝ දෙන්නෙක් නැහැ. එකම ගෘහ මූලිකයා කපිල.
මට ඕන දේ කරන්න කපිලගෙන් තහනමක් නැහැ. ඒත් ඔහු මගේ සැමියා. ඒ නිසා යමක් කරන්න කලින් මම කපිලගෙන් අහනවා. ඒවගෙම යමක් කරන්න කලින් කපිලත් මගෙන් අහනවා. එහෙම කළ යුතුයෑයි කියලා. නියමයක් නැහැ. නමුත් අපේ වැඩ සිද්ධවෙන්නේ එහෙමයි.

අපි දෙන්නා ගමන් බිමන් යන්නේ එකට. මට මගේ අම්මා හෝ තාත්තා සමඟ යන්න පුළුවන්. ඒත් කපිල මා සමඟ එනවා.
කපිල හුඟාක් නිවුණු කෙනෙක්. කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි. මට තමයි ඉතිං ඔය සමහර දේවලට කේන්ති ආවොත්. ඒත් දැන් කපිල කේන්ති ගැනීමේ නුසුදුසුකම මට කියලා දීලා. දැන් මටත් තරහා එන්නේ නැති ගානයි.
අපි අතරේ දේකට නෙවෙයි ඒත් ඔය වෙනත් දේවලට වචන හුවමාරු වෙනවා. ඒත් ඊට පස්සේ ඉවරයි.
කපිල නිතරම ඉන්නේ විනෝදෙන් ගෙදරට අයට විහිළුවක් කරගෙන
ඉස්සර කපිල කෙට්ටුයි. දැන්නම් ටිකක් මහතයි. එයාම කියනවා මං මහ කම්මැලියෙක් කියලා. ඒ වුණත් සතියකට දවස් දෙක තුනක්වත් මම එයාව ව්‍යායාම කරන්න පෙළඹනවාමයි. මුලින් බැහැ කම්මැලියි කියලා පස්සේ කියනවා ව්‍යායාම කරාම මාර ෆිට් එකක් ඇතිවුණා කියලා.
එයාගේ කම්මැලිකම නිසා ඇඳුම් පැළඳුම් වුණත් මමයි හදා දෙන්න ඕන. එයාට කැමති ඇඳුම් මමයි තෝරන්නේ. අපි දෙන්නාම හැමදේම කතා බහ කරන නිසා ඇඳුම් පැළදුම් ගන්න යන්නේ එකට. මගේ ඇඳුම් තෝරන්නේ එයා. හැබැයි කවදාවත් කපිල තනියම ගිහින් මට ඇඳුමක් ගෙනත් නැහැ. මමත් එහෙමයි.
කපිල වැඩවලට යොමු කරවන්න ඕන. එතකොට තමයි වැඩ කරන්න පටන් ගන්නේ. අපේ ගෙදර දවස පටන් ගන්නේ උදේ 6 ට විතර. ප්‍රසංගවලට අපි ගියාම ඒ ක්‍රමය තරමක් වෙනස් වෙනවා තමයි.
කපිලට රසට කෑම ඕනේ. කොස්ඇට දමලා හදන කෙසෙල් මුව මැල්ලුමට කපිල හරි ආසයි. මම රතු අල, කෙලවල්ලෝ සමඟ බත් කන්න ආසයි. කපිල මට ඒකට විහිළු කරනවා. හැබැයි මම සම්බෝලයි බතුයි වුණත් කන්න කැමතියි.

කපිල අනිත් අයට උදව් කරන්න ආසයි. එහෙම කරනවා අපි. ඒත් ඒවා අපි අතරේම තියා ගන්නවා. කාටද උදව් කළේ ඇයි කියලා කියන්න යන්නේ නැහැ.
කපිලගෙයි මගේ යාළුවා එකම පිරිසක් පාසල් කාලේ වගේම විශ්ව විද්‍යාලයේ අපිත් එක්ක හිටපු කිහිප දෙනා. ඒ අයත් එක්ක අවුරුද්දකට දෙපාරක් තුන්පාරක් විනෝද ගමනක් බිමනක් යනවා.
අපේ දරුවෝ කැමතියි තුඩාවේ ඉන්න කපිලගේ නංගිලාගේ ගෙදර යන්න.
අපි දෙන්නාටම ඕනකමක් තිබුණා හොඳ සංගීත ඇකඩමියක් පටන් ගන්න මියසි අරණ නමින් බත්තර මුල්ලේ අපි ඒක පටන් ගත්තා.
කපිල විවිධ අවස්ථාවල සංගීතඥයකු ලෙස සම්මාන අරගෙන තිබෙනවා.
අපි දෙන්නා දෙන්නෙක් වුණත් හිතන පතන විදිහ එක වගේ. ඒ නිසාම උදාවන හැම දවසක්ම අපිට සතුට ගෙන දෙනවා.
අපේ කතාබහට විරාමය තබමින් නෙලූ අධිකාරි පැවැසුවා.